Saturday, August 30, 2014

වික්ටෝරියාගේ සරාගී රහස


වික්ටෝරියාගේ සරාගී රහස





යට ඇඳුම් ගැන ඔබ කොයිතරම් දුරකට සැලකිලිමත් වෙනවාද? මම ඇහුවේ අනිත් අයගේ යට ඇඳුම් ගැන නෙවෙයි ඔයාගේ යට ඇඳුම් ගැන. මම අහන්නේ නැහැ ඔයා අඳින යට ඇඳුම මොකද්ද ඒකේ ගාණ කීයද කියලා. රුපියල් 15,000ක් විතර මිලක් යට ඇඳුමක් වෙනුවෙන් වියදම් කරන්න අපේ සමාජයේ කැමැත්ත දක්වන පිරිසේ ප්‍රතිශතය නම් ඉතාම අඩුයි. අනික රුපියල් 4000ක් එහෙමත් නැත්නම් රුපියල් 20,000ක් වියදම් කරලා යට ඇඳුමක් ඇන්දත් ඒකෙන් ඇති විශේෂ ප්‍රයෝජනය මොකක්ද? "යට ඇඳුම් වෙනුවෙන් ඒ වගේ මුදලක් වියදම් කරන එක පට්ටම මෝඩ වැඩක්" බොහෝ දෙනෙක් එහෙම දේවල් කිව්වත් ඉහළ මිලක් සහිත කාන්තා සහ පිරිමි යට ඇඳුම් නිෂ්පාදනය කර බෙදාහැරීම අද වන විට ලෝකයේ අතිශය ලාභදායී අතිශය ජනප්‍රිය ව්‍යාපාරයක්.
 

 අද අපේ අවධානය යොමුවන්නේ ලෝකයේ අංක එකේ කාන්තා යට ඇඳුම් සන්නමක් වෙත. ඒ අන් කිසිවක් නෙවෙයි, වික්ටෝරියාස් සීක්‍රට් (Victoria’s Secret). වික්ටෝරියාස් සීක්‍රට් කියන්නේ සරාගී කාන්තා යට ඇඳුම් වෙළෙදාමේ හිණිපෙත්තටම ගිය, ඉහළම මිල ගණන්වලට උණු කැවුම් වගේ අලෙවි වන කාන්තා යට ඇඳුම් සන්නමක්. රුපියල් 500ක් රුපියල් 1000ක් විතර වෙන යට ඇඳුමක් වෙනුවට රුපියල් 10,000ක් 15,000ක් වෙන යට ඇඳුමක් පාරිභෝගිකයන්ට අන්දවන්න වික්ටෝරියාස් සීක්‍රට් සමාගමට පුළුවන් වුණේ කොහොමද කියන කාරණය ගැන විමසුමක් අද කරමු. ඇත්තටම වික්ටෝරියාස් සීක්‍රට් කියන්නේ ලොව මිල අධිකම කාන්තා යට ඇඳුම් සන්නම නෙවෙයි. බෝර්ඩෙල්ලි (Bordelle) වගේ සන්නමක් ගත්තොත් ඔවුන්ගේ කාන්තා යට ඇඳුම් ඩොලර් 500 (රුපියල් 55,000) සිට ඩොලර් 1400 (රුපියල් 1,50,000) දක්වා මිල පරාසයක් තුළ විහිදෙනවා. ඒ වගේම ඛ්චපඪදඥ ට්ඪතඵධද සන්නමද ඉහළ මිල පරාසයක් තුළ අලෙවි වන අතිශය සරාගී කාන්තා යට ඇඳුම් සන්නමක් වෙනවා. නමුත් ඉහළ මිල කාන්තා යට ඇඳුම් කිව්ව සැණින්ම වික්ටෝරියාස් සීක්‍රට් මතක් වෙන විදියට ඔවුන් පාරිභෝගික මනසේ ස්ථානගත වෙලා ඉන්නේ.

2012
ඉන්ටර්බෑන්ඩ්න් වර්ගීකරණයේ හොඳම සිල්ලර සන්නම් ලැයිස්තුවේ (The Best Retailers Brand) 18 වැනි ස්ථානයේ වැජඹෙන වික්ටෝරියාස් සීක්‍රට් සමාගමේ ආරම්භය සිදුවන්නේ 1977දී. රෝයි රේමන්ඩ් ඔහුගේ බිරියට යට ඇඳුම් ගන්න රෙදි සාප්පු කිහිපයකටම ගියත් ඔහුගේ සිත් සතුටු කරන යට ඇඳුම් ඔහුගේ බිරියගේ වාසනාවට හෝ අවාසනාවට එම සාප්පුවල තිබුණේ නැහැ. ඒ අත්දැකීම තුළ ව්‍යාපාරික අවස්ථාවක් දකින්න රෝයි රේමන්ඩ්ට පුළුවන් වුණා. ඒ අනුව ශරීරයට පහසු, සරාගී පෙනුමක් එක් කරන උසස් තත්ත්වයේ යට ඇඳුම් ඇමෙරිකානු මධ්‍ය පාන්තික කාන්තාවන් ඉලක්ක කරගෙන නිපදවලා විකුණන්න පුළුවන් වුණා නම් කියලා ඔහුට සිතුණා. ඒ සිතිවිල්ල තමයි පසුකාලීනව ලොව ජනප්‍රිය සන්නමක් විදියට පාරිභෝගික මනසේ ස්ථානගත වුණේ. හිතට ආව අලුත් ව්‍යාපාරික අවස්ථාවත් සමඟ ඔහු ප්‍රථම සාප්පුව කැලිෆෝනියාවේදී විවෘත කළා. එහිදී ඔහු අපූරු අවස්ථාවක් පිරිමින්ට ලබා දුන්නා.

සරාගී කාන්තා යට ඇඳුම් පිරිමින්ට නිදහසේ කිසිදු ලැජ්ජාවකින් තොරව මිලට ගන්න පුළුවන් ඉඩ ප්‍රස්ථාව ඔහුගේ සාප්පුවේ තිබුණා. එය පාරිභෝගික හැසිරීම් සහ පාරිභෝගික මානසිකත්වය ගැඹුරින් හඳුනාගැනීමෙන් ක්‍රියාත්මක කළ සාර්ථක තීරණයක් කියලා හඳුන්වන්න පුළුවන්. මන්ද යත් හැඟීම් පුබුදුවන යට ඇඳුම් ඇඳගෙන කාන්තාවන් සරාගීව ඉන්නවා දකින්න ප්‍රසිද්ධියේ නොකිව්වත් පිරිමි ඇත්තටම කැමැතියි. ඒ වගේම කාන්තාවකගේ නිරුවතට වඩා අඩ නිරුවත සුන්දර බව බහුතරයක් පිරිමි විශ්වාස කරනවා. නිරුවත නොමිලේ අලෙවි වන කාලයක තාමත් Play Boy වගේ සඟරාවන් අලෙවි වෙන්නේ කාන්තා අඩ නිරුවතට පිරිමින් තුළ ඇති කැමැත්ත නිසා වෙන්න ඕන. අනිත් අතට හැඩ ශරීරයක් තිබෙන කාන්තාවන්ද තම සහකරුවා හෝ ඇයගේ ශරීරය පිළිබඳ සැලකිල්ලක් දක්වන පාර්ශ්වයන්ගේ අවධානය යට ඇඳුම් ඔස්සේ ලබාගන්න කැමැතියි. එහෙත් මෙම කාරණය ප්‍රසිද්ධියේ කියන්න ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම අකැමැතියි. සන්නාම කළමනාකරුවන්ගේ සහ අලෙවි කළමනාකරුවන්ගේ රැකියාව වෙන්නෙත් මිනිසුන්ගේ ඒ වගේ මානසික අවශ්‍යතා සම්පූර්ණ කරන භාණ්ඩ හා සේවා වෙළෙඳ පොළට හඳුන්වා දීම.

මනෝවිද්‍යාවට අනුව ඕනෑම මනුෂ්‍යයකුගේ යටි සිතේ තිබෙන ගැඹුරුම ආශාව වෙන්නේ රාගය සහ බලය. මෙය අඩු වැඩි වශයෙන් එක් එක් පුද්ගලයන් අතර තියෙනවා. නමුත් කවුරුවත් ඒක පිටතට නොපෙන්වන අතර විවිධ හේතු ඔස්සේ සාධාරණීයකරණය කරගෙන ඒ හැඟීම් යටපත් කරගන්නවා. නමුත් කාමය සහ රාගය වගේ ගැඹුරු මානව හැඟීම් ආකර්ෂණීයව විඳින්න සැම පෘථග්ජන මිනිසෙක්ම කැමැතියි. එහෙත් ඊට පවතින සමාජ සහ සංස්කෘතික බාධා සහ සමාජ සම්මතයන් නිසා ආදරයට ආකර්ෂණයක් එක්කරන්න උත්සාහ ගත්තත් කාමයට ආකර්ෂණයක් එක් කරන්න විරුද්ධ ලිංගිකයන් පැකිළෙනවා. ඒක නිසා තමයි රෝස මල ආදරයේ සංකේතය වුණත් රාගයට සංකේතයක් නැත්තේ. රාගයට ආකර්ෂණයක් එක් කරන්න පුළුවන් හොඳම ක්‍රමය වෙන්නේ ලිංගික එක්වීමේදී අදාළ පාර්ශ්වයන් කැමැත්තෙන්ම දක්වන ක්‍රියාකාරී දායකත්වය. තවත් ක්‍රමයක් වෙන්නේ ලිංගික එකතු වීමට පෙර සිදුවන පොළඹවා ගැනීමේ ක්‍රියාවලිය. එම ක්‍රියාවලියේ දී අදාළ පාර්ශ්වයන්ගේ යට ඇඳුම් (Panties and Bras) වැදගත් තැනක් ගන්නවා. වික්ටෝරියාස් සීක්‍රට් ඒ කාරණය පැහැදිලිව හඳුනා ගත්තා. පාරිභෝගිකයාට විසදාගන්න මැළිකමක් දැක්වූ එම ගැටලුවලට විසඳුම් ගේන්න ඔවුන් උත්සාහ ගත්තා. එම නිසා ලිංගික ප්‍රදේශ ආවරණය කරන සෞඛ්‍ය සම්පන්න යට ඇඳුම් දෙනවා වෙනුවට ඔවුන් කාන්තා අඩ නිරුවත තවත් සරාගීව නිරාවරණය කරමින් රාගය තුළ වූ බලය, ආත්මාර්ථකාමී බව සහ සුන්දරත්වය පෙන්වන යට ඇඳුම් වෙළෙඳ පොළට ගෙනාවා.

කාන්තාවන්ට සමීප වර්ණයක් වන රෝස පැහැය මූලික කරගෙන නිර්මාණය කළ වික්ටෝරියාස් සීක්‍රට් සන්නම් ලාංඡනය රාගය, ආදරය සහ ආකර්ෂණය බව පෙන්වන ඔවුන්ගේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායමේ අවධානය ගත්ත නිර්මාණයක් වුණා. එසේම වික්ටෝරියාස් සීක්‍රට් මුල සිටම වෙළෙඳ පොළට ඉදිරිපත් කළේ ඉහළ මිලට හෙවත් වෙළෙඳපොළ සාරය උරා ගැනීමේ මිල උපක්‍රමය ඔස්සේ. ඊට සමගාමීව පාරිභෝගිකයාට පිරිනැමුණු ඉහළ ගුණත්වය, පහසුව සහ ආකර්ෂණීය මෝස්තර නිසා පාරිභෝගික අවධානය කෙමෙන් දිනාගන්න ඔවුන්ට පුළුවන් වුණා. සන්නම ස්ථානගත කිරීමේදී රූපවාහිනී දැන්වීමේ සිට කට වචනය දක්වා විවිධාකාර ප්‍රවර්ධන උපක්‍රම රැසක් ඔවුන් දියත් කළා. කෙනෙක් අහන්න පුළුවන් කාන්තාවන්ට ඉහළ මිලක් සහිත යට ඇඳුමක් භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඇත්තටම මෙහිදී වැඩි වටිනාකමක් එකතු වෙන්නේ පාරිභෝගික මනස තුළ ගොඩනැඟෙන වටිනාකමට. වික්ටෝරියාස් සීක්‍රට් යට ඇඳුම් ආකර්ෂණීය වටිනාකමක් එක්කරන බවත් සුපිරි නිරූපණ ශිල්පිනියන් අඳින යට ඇඳුමෙන් තමා සැරසීම නිසා ලැබෙන මානසික තෘප්තියත් මෙහිදී වැදගත් වෙනවා. ඒ තෘප්තිය ලබාගන්න අවශ්‍යතාවත්, මිලදී ගැනීමේ හැකියාවක්ද තියෙන කාන්තාවන් වැඩිපුර මුදලක් ගෙවන්න පැකිළෙන්නේ නැහැ.

යම් සන්නමක් ඉහළ වටිනාකමක් සහිත සන්නමක් කියලා හිතු මනාපෙට පාරිභෝගිකයා තීරණය කරන්න පෙලැඹෙන්නේ නැහැ. ඒ සඳහා පාරිභෝගිකයාට එහෙම හිතන්න අවශ්‍ය පසුබිම අදාළ සන්නම කළමනාකරුවන් හදන්න ඕන. 1995 වසරේදී ආරම්භ කළ වික්ටෝරියාස් සීක්‍රට් දැවැන්ත විලාසිතා දැක්ම ඉතා වැදගත් තැනක් ගත්ත දෙයක් වුණා. ක්‍ෂේත්‍රයේ ජනප්‍රියතම සුපිරි නිරූපණ ශිල්පිනියන් එකොළොස් දෙනෙක් සෑම වසරකම වික්ටෝරියාස් සීක්‍රට් යට ඇඳුමෙන් සැරසිලා කරළියට එන එම විලාසිතා දැක්ම පසුකාලීනව ලෝකයේ ප්‍රධානතම විලාසිතා දැක්මක් වුණා. වික්ටෝරියාස් සීක්‍රට් සුපිරි නිරූපිකාවන්ගේ සහ ජනප්‍රිය නිළියන්ගේ මෙන්ම ධනවත් කාන්තාවන්ගේ තිරයෙන් පිටුපස ලිංගික ජීවිතයේ සතුටේ රහස විදියට සෙමින් සෙමින් පාරිභෝගික මනසේ ස්ථානගත වුණා.

ඉහළ වැය කළ හැකි ආදායමක් තියෙන, සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න කැමැති සහ සංස්කෘතික බාධාවලින් මිදිලා සිරි යහනේදී උපරිම වින්දනයක් ලබාගැනීමට කැමැති කාන්තාවන් උඩ ඇඳුම වගේම යට ඇඳුම ගැනත් හිතනවා. ඇත්තටම වික්ටෝරියාස් සීක්‍රට් පිරිනමන්නේ යට ඇඳුමක් නෙවෙයි ලිංගික උත්තේජකයක්, සරාගී කාන්තාවන්ගේ සරාගී ජීවිතයේ රහස. මෙන්න මේවා තමයි වික්ටෝරියාස් සීක්‍රට් පාරිභෝගිකයාට පිරිනමන්න උත්සාහ කරන මානසික සංකල්පය. ඔවුන් එම මානසික සංකල්ප අලෙවි නොකර යට ඇඳුම් පමණක් අලෙවි කළා නම් වික්ටෝරියාස් සීක්‍රට් කියන්නේ තවත් විළි වහගන්න තියෙන ත්‍රිකෝණාකාර රෙදි කෑල්ලක් පමණක් වෙනවා.

සන්නමක් අතිශය සාර්ථක වුණාම එම සන්නම දිගු කිරීමේ උපක්‍රමය (Brand extention) ක්‍රියාත්මක කරන්න ව්‍යාපාරිකයන් උත්සාහ ගන්නවා. ඒ කියන්නේ එකම සන්නමෙන් විවිධ භාණ්ඩ රැසක් වෙළෙඳ පොළට හඳුන්වා දීම. නමුත් 2004 වනතුරුම වික්ටෝරියාස් සීක්‍රට් තම භාණ්ඩ ඉදිරිපත් කළේ වයස අවුරුදු 18ත් වයස අවුරුදු 44ත් අතර සිටින කාන්තාවන් සඳහා පමණයි. මන්ද ඔවුන් දැනගත්තා ඔවුන්ගේ ජනප්‍රිය සන්නම නොගැළපෙන නිෂ්පාදනවලට යොදවලා ඒ වන විට අත්පත් කරගෙන තියෙන වෙළෙඳපොළ කොටස නැති කරගන්න හොඳ නැහැ කියලා. නමුත් ඔවුන් 2004දී නව යොවුන් තරුණියන්, ඒ කියන්නේ වයස අවුරුදු 14 සිට 18 අතර සිටින්නියන් ඉලක්ක කරගෙන පින්ක් (Pink) කියන අනු සන්නමක් (Sub Brand) ඔස්සේ යට ඇඳුම්, ටී ෂර්ට්, කලිසම් ඉදිරිපත් කළා. එය අති සාර්ථක වුණ අතර පින්ක් භාවිත කරන නව යොවුන් තරුණියන් පසු කාලීනව පින්ක් සන්නමේ මවු සන්නම වන වික්ටෝරියාස් සීක්‍රට් භාවිත කරන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. වික්ටෝරියාස් අනාගත පාරිභෝගික කණ්ඩායම කලින්ම කර මුලින්ම අල්ලාගන්න භාවිත කළ උපක්‍රමයක් විදියට පින්ක් අනු සන්නම හඳුන්වන්න පුළුවන්.

වික්ටෝරියාස් සීක්‍රට් සමාගමේ මීළඟ සැලැසුම වෙන්නේ ළදරු දරුවන් සහ ගැබිනි මවුවරුන් ඉලක්ක කරගෙන බේබි සීක්‍රට් නම් සන්නමෙන් භාණ්ඩ පෙළක් ඉදිරිපත් කිරීම. ඒ ඔස්සේ ඔවුන් මෙතෙක් අවධානය යොමු නොකළ තවත් පාරිභෝගික කණ්ඩායමක් ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. වික්ටෝරියාස් සීක්‍රට් සන්නම් විශ්ලේෂණය තුළින් අපට ඉගෙන ගන්න තිබෙන ප්‍රධාන පාඩම් වන්නේ මවු සන්නමට හානියක් කරගන්නේ නැතිව අනු සන්නම් (Sub Brand) ඔස්සේ විවිධ පාරිභෝගික කණ්ඩායම් වෙත සමීප වෙන්න උත්සාහ කිරීම. ප්‍රධාන සන්නමේ පෞරුෂත්වයට කිසිදු හානියක් නොකර ගැනීමට තමයි අනු සන්නම් ඔස්සේ භාණ්ඩ වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නේ. ඒ වගේම අනු සන්නමේ අසාර්ථකත්වයක් මවු සන්නමට බලපාන්නේ නැතිකම තමයි අනු සන්නම් මඟින් වෙළෙඳ පොළට පිවිසීමේ තියෙන තවත් වාසියක් වෙන්නේ.

ඒ වගේම තාමත් වික්ටෝරියාස් සීක්‍රට් සමාගමේ ඉලක්කගත පාරිභෝගික කණ්ඩායම (Target Customers) වෙන්නේ ස්ත්‍රී පාර්ශ්වය පමණයි. අපි දන්නේ නැහැ ඔවුන් අනාගතයේදී පිරිමි පාරිභෝගිකයන් ඉලක්ක කරගනියිද කියලා. ශ්‍රී ලාංකික වෙළෙඳ පොළ තුළ අපි දැකලා තියෙන ප්‍රධාන දෙයක් වෙන්නේ කිසියම් සන්නමක් අතිශය සාර්ථක වුණාම වැඩි කාලයක් යන්නත් කලින්ම වැඩි වාසි ගන්න හිතාගෙන අර ජනප්‍රිය සන්නම ගැළපෙන නොගැළපෙන සෑම නිෂ්පාදනයකටම යොදලා සාර්ථක වුණ සන්නමත් අසාර්ථක තත්ත්වයට පත්කිරීම. නමුත් සාර්ථක සමාගම් විශාල ප්‍රමාණයක් ඉලක්කගත පාරිභෝගික කණ්ඩායමෙන් බැහැර වෙන්නේ කල් යල් බලලා හොඳම අවස්ථාවේදී. 1980 දශකයේදීම වික්ටෝරියාස් සීක්‍රට් සමාගම පින්ක්, බේබි සීක්‍රට් වගේ අනු සන්නම් ඔස්සේ රෙදිපිළි වෙළෙඳ පොළට හඳුන්වා දුන්නා නම් ඔවුන්ගේ මවු සන්නමේ වටිනාකමද හීන වෙලා යන්න ඉඩකඩ තිබුණා.

කොහොම හරි අන්තිමේට කියන්න තියෙන්නේ මේකයි. සාර්ථක සන්නමක් එක රැයකින් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ සඳහා යම් කාලයක් ගතවන අතර සන්නමේ ලක්‍ෂණ සහ පෞරුෂය විනාශ කරගන්න දේවල් කරන්නේ නැතිව ඉවසීමෙන් වෙළෙඳ පොළ තුළ රැඳී සිටිය යුතුයි

0 comments:

Post a Comment