හෝමාගම පිහිටි කාඩ්බෝඩ් ඇසුරුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂක නිලධාරියෙකු වන විජේසිංහ ඉකුත් 08 වෙනිදා උදෑසන හෝමාගම පොලීසිය වෙත දිව එන්නේ කර්මාන්ත ශාලාව තුළ සිදුව ඇති අබිරහස් මරණයක් ගැන කියන්නටය. මරණයට පත්ව සිටියේ පෙර දිනයේ රාත්‍රී ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියා වූ උපාලි නයනානන්දය. හැටඅට වියැති ඔහු මියගොස් සිටියේ කර්මාන්ත ශාලාවේ නාන කාමරයක් තුළය. විජේසිංහ පොලීසියට දිව එන්නේ හිසෙන් ලේ ගලන තුවාල සහිතව නාන කාමරයේ වැටී මියගොස් සිටි උපාලිගේ මළ සිරුර උදෑසන දුටු සේවකයන් ඒ බව ඔහුට පැවැසීමත් සමගිනි.
එම මරණය ගැන පොලිස් පොතේ සටහන් වීමත් සමග ඒ ගැන සොයා බලන්නට මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් ලීලාරත්න කර්මාන්ත ශාලාව වෙත ගමන් ගන්නේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී. චන්ද්‍රසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් ද සමගය.
පොලිස් කණ්ඩායම කර්මාන්ත ශාලාවට ගොස් නාන කාමරයට එබි බැලූ සැනින්ම එය සාමාන්‍ය මරණයක් හෝ හදිසි අනතුරක් නොවන බව පැහැදිලිවම පෙනී ගියේය. එම මරණය සැකයකට තුඩු දෙන්නේ ආරක්ෂක නිලධාරියාගේ හිසෙහි වූ ලේ ගලන තුවාලය නිසාය. එම තුවාලය බිම වැටීමකින් කිසිසේත් සිදුවිය හැක්කක් නොවන බව මෙවන් මරණ කොතෙකුත් දැක ඇති පොලිස් නිලධාරීන්ට බැලූ බැල්මටම පෙනී ගියේය. ඒ එම තුවාලය හිස් මුදුනේම තිබිම හේතුවෙනි. එම සැකය වඩාත් තහවුරු වන්නේ ඔහු මියගොස් සිටි නාන කාමරයට යාබදව ඇති කාමරයකින් ලේ තැවුරුණු යකඩ පොල්ලක් පොලීසියට හමුවීමත් සමගය. ඒ අනුව එම මරණය මිනිස් ඝාතනයක් විය හැකිය යන සැකය පොලිස් කණ්ඩායම තුළ ඇති විය. පොලිස් කණ්ඩායම සිය විමර්ශන එතැන් සිට පටන් ගන්නේ එම සැකය පාදක කොට ගනිමිනි. ඊට පෙර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ලලිත් ලීලාරත්නත්, අපරාධ අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසේකරත් ඒ ගැන හෝමාගම මහේස්ත්රාත්වරයාට කරුණු වාර්තාකර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් කරන්නට අමතක නොකළෝය. ඒ අතර තම උසස් නිලධාරීන් වූ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් කරුණාරත්න, සහකාර පොලිස් අධිකාරී ඒ.ජේ.වයි. ක්‍රිෂාන්ත යන නිලධාරීන්ටද දැනුම් දීමට පොලිස් කණ්ඩාම පියවර ගත්තේය. ඒ අයගෙන්ද උපදෙස් ලබාගත් පොලිස් කණ්ඩායම නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද, ඇඟිලි සලකුණු විමර්ශන අංශයේ නිලධාරීන්ද කැඳවා සාක්ෂි රැස්කරගන්නට කටයුතු කළෝය.
මෙහිදී වැඩි බරක් පැටවෙන්නේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති චන්ද්රසේකරටය. ඒ නිසාම ඔහු එම ඝාතනය සිදුවී ඇති ආකාරය ගැන වැඩි අවධානයක් යොමු කළේය. ආරක්ෂක නිලධාරියා මරා දමා සිටි නාන කාමරය පොදුවේ සේවකයන් භාවිතා කරන්නක් නොවන බව හෙළිවන්නේ එවිටය. එම නාන කාමරය තනි පුද්ගලයෙකුගේ පරිහරණයට වෙන් වූවකි. ඔහු නාන කාමරයට යාබදව ඇති කාමරයක ජීවත්වන, කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ වැඩිමහල් සහෝදරියගේ පුතාය. නියෝන් මාක් අසීස් නැමැති ඔහු හතළිස් එක් වැනි වියේ පසුවූවෙකි. විවාහකයෙකු නොවූ ඔහුගේ ‘නිවහන’ වූයේද කර්මාන්ත ශාලාවමය. ඔහුගේ කාමරයට යාබදව ඇති, ඔහු පරිහරණය කරනු ලබන නානකාමරය තුළ කර්මාන්ත ශාලාවේ මුරකරුවෙකු ඝාතනය වන විට ඔහු සිටින්නේ අතුරුදන්වය. ඒ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථයක් ද සමගිනි.
ඒ අනුව ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය පිළිබඳ සැකය එක එල්ලේම යොමු වන්නේ මෙම පුද්ගලයා වෙතය. පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර එතැන් සිට මෙම ඝාතන අබිරහස විසඳන්නට වෙහෙසෙන්නේ ආරක්ෂක නිලධාරියාගේ මරණයත් සමග අතුරුදන් වූ නියෝන් මාක් හසීස් කොටු කරගන්නට දැලක්ද එලමිනි. ඒ දැලට නියෝන් කොටු වන්නේ ඉකුත් 08 වෙනිදාය. ඒ මොරටුව පැත්තේ මුහුදු වෙරළේ සිටියදීය.
උපාලි නයනානන්ද ඝාතනයට පමණක් නොව 2012 වසරේ නොවැම්බර් 17 වෙනිදා මිරිහානේ දී සිදුවුණු මිනිස් ඝාතනයකටද මොහු වග කිව යුතුය යන සැකය ඇති වන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව පැය හතළිස් අටක් රඳවාගෙන කෙරුනු ප්‍රශ්න කිරීම් හමුවේදීය. මිරිහානේ ඝාතනය මතෛක් කලක් සැකකරුවෙකු නොදත් අපරාධයක් ලෙස පොලිස් පොත්වල ලියැවී තිබුණු අපරාධයක් විය.
එකල මෙම කර්මාන්ත ශාලාවේ මූලස්ථානය පිහිටා තිබි ඇත්තේ මිරිහානේ සුභද්‍රාරාම පාරේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලකය. මොහු අතින් ඒ ඝාතනය සිදුවූයේ යැයි සැක කෙරෙන්නේ එහිදීය. එවරද ඝාතනයට ලක්ව ඇත්තේ ආරක්ෂක නිලධාරියෙකි. ඔහු අසූ එක් වියැති අයෙකි. එම ආරක්ෂක නිලධාරියා මරා දමා ඇත්තේ පිහියකින් ඇනය. ආරක්ෂක නිලධාරියාගෙන් තමාට කරදරයක් වෙතැයි සිතා ඔහුව මරා දැමූ බව එම ඝාතනය සම්බන්ධයෙන් ඔහු කියන කතාවය. එහෙත් උපාලි නයනානන්දව මරා දමන්නට හේතුව ලෙස ඔහු පොලීසියට පවසා ඇත්තේ වෙනත් කතාවකි. ඒ උපාලි තමාගේ සිරුර අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන බැවින් එයින් මිදීමට ඔහුව මරා දැමූ බවකි.
උප්පැන්නයෙන් පිරිමියෙකු ලෙස නම් කර තිබුණත් නියෝන් මාක් හසීස් නැමැති මේ පුද්ගලයා ඒ වන විට ගැහැනියක බවට පත්ව සිටින අයෙකු බව හෙළිවන්නේ ඒත් සමගිනි. ඒ ලිංගික විපර්යාසයකින් නොව, සැත්කමක් මගිනි. එහෙත් ඔහු කර්මාන්ත ශාලාවේදී හෝ ඉන් පිටතදී හෝ කිසි විටෙකත් තමා ගැහැනියක බවට පත්වූවකු බව හඟවන්නට ගියේ නැත. ඇන්දේ පැළැන්දේද පිරිමියෙකු ලෙසිනි. දිගු කෙස් වැටියක් තිබුණද පිරිමින්ද කොණ්ඩය වවන බැවින් කිසිවෙකුටත් ඒ ගැන විශේෂත්වයක් ඇති නොවීය.
ප්‍රශ්න කිරීම් හමුවේ පොලීසියට කියා ඇති ආකාරයට අනුව උප්පැන්නයෙන් පිරිමියෙකු වූ ඔහු කාන්තාවක් බවට පත්ව ඇත්තේ තායිලන්තයේ බැංකොක් හීදීය.. ඒ 2002 වසරේදීය. එම සැත්කමට වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ පහකි. තායිලන්තයේ සංචාරයක් සඳහා ගිය ඔහු ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිය මවගෙන් ලබාගත් මුදලින් එම සැත්කම කරගෙන කාන්තාවක් බවට පත්වන්නේ කාන්තාවන් සමග එකට සිටීමට ඇතිවුණු තදබල ආශාවක් හේතුවෙනි. පුරුෂ ලිංගික අවයව කාන්තා අවයව බවට පත්කරගත් ඔහු එතැනින් සීමා නොවී පියයුරුද වර්ධනය කර ගත්තේය. ඒ හෝමෝන භාවිතා කරමිනි.
ඒ ආකාරයෙන් කාන්තාවක් බවට පත්වුණු මේ පුද්ගලයා එතැනින්ද නතර වී නැත. ඉන් අනතුරුව ඔහු කර ඇත්තේ කාන්තාවක් ලෙස ගණිකා වෘත්තියට පිවිසීමය. ඒ ලිවී නියෝන් යන නමිනි. තායිලන්තයේ රැඳී සිටිමින් ‘ඇය’ එම වෘත්තියේ වසර හය හතක කාලයක්ම නිරතවී ඇති බව සඳහන්ය. ලිවී නියෝන් නමින් ඇය තම කාන්තා රූපයද සහිතව ගනුදෙනුකරුවන් සඳහා පුවත්පත් දැන්වීම් පවා පළකර තිබේ.
පිරිමියෙකු ලෙස තායිලන්තයට ගොස් කාන්තාවක් ලෙස ගණිකා වෘත්තියේ නිරතව ඔහු නැවත මෙරටට එන්නේ ‘පිරිමියෙකු’ ලෙසිනි. ඒ නැවත අවයව යථා තත්ත්වයට පත්කරගෙන නොව, ඇඳුමෙන් පමණක් පිරිමියෙකු බවට පත්වෙමිනි. 2011 වසරේදී මෙරටට පැමිණෙන මේ පුද්ගලයා එතැන් සිට රැකවරණය ලබන්නේ සිය මවගේ සහෝදරයාගේ සෙවණෙහිය.
මේ පුද්ගලයා කාන්තාවක් බවට පත්වීමත්, ආරක්ෂක නිලධාරීන් පමණක් ඔහුගේ ගොදුරු බවට පත් කරගැනීමත් යම් මානසික ව්‍යාකූලත්වයක ප්‍රතිඵලයක් විය හැකි බව පොලීසියේ විශ්වාසයයි. ඒ තත්ත්වයට හේතුව ඇතැම් විට තුඩා කල සිටම මව් පිය සෙනෙහස ඔහුට අහිමි වීම විය හැකිය. ඔහු කුඩා කාලයේදීම මව පියාගෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇතැයි සඳහන් වේ. ඇයට ඒ විවාහයෙන් දරුවන් කිහිප දෙනකු සිටියත් ඒ අයට ලැබෙන ආදරය, රැකවරණය මේ පුද්ගලයාට ලැබි ඇති බවක් විමර්ශනවලින් පොලීසියට පෙනී ගොස් නැත. පොලීසියේ විශ්වාසය නම් අපරාධයට දඬුවම් මෙන්ම ඔහුට මානසික ප්රතිකාරද දැන් අවශ්‍ය බවය.
ගයාන් කුමාර වීරසිංහ
ලක්බිම ඔන්ලයින් පත්‍රය ඈසුරෙනි.