Thursday, January 9, 2014

වස්තුහාමි ගේ කතාව.(Transwoman Story - wasthuhami)

පුංචි සන්දියේ පටන්ම අපි දන්න කියන අපේ ගමේ එකෙක් වෙච්චි වස්තු හාමිට අයියා කියන්නදඅක්කා කියන්නදකියලා මට තවමත් හිතාගන්න අමාරුයිඒත් මුලදී නම් අපි කාටත් ඌ වස්තු හාමි අයියා.

වස්තු හාමි අපිට වඩා වෙනස් චරිතයක් බව අපි පොඩි එවුං කාලේ ඉඳන්ම දැනං උන්නාඑකට උන්නු කොලු රැළ ගිනි මද්දහනේ පන්දු කෙළිද්දී වස්තුහාමි අයියා ගස් හෙවණකට වෙලා ඉඳගෙන උන්නා කොලු කමට හොර පොල් කඩන්න අපි වත්තකට පනින්න සැලසුම් කරද්දී වස්තුහාමි අයියා ගිහින් වැඩිහිටියෙකුට ඒ ගැන ගතු කේලම් කීවා වංගියක් ඌ තනියම හීන් හඬින් කවි කීවාතවත් වංගියක බැද්දෙ ගිහිං මල් කැඩුවා .ගමේ කොල්ලෝ ඉඩ ලැබුණු හෑම වෙලාවකම වස්තුහාමි අයියට කොලොප්පම් කළා .

අඩා වස්තුහාමි උඹ කුස්සියේ වැදිලා තලප හැඳිගාපංඋඹ කෙල්ලෙක් නේ අඩා” 
අපි කොයිතරම් ඌට කොලොප්පම් කළත් ඌ නෙවෙයි අපි එක්ක හීනියට වත් අමනාප වුණේ වලං මැට්ට පෑගෙද්දී තව තව පදම් වෙනවා වගේ ඌත් අපි එක්ක තව තවත් රැහේ වැටුණාකොයිතරම් රැහේ වැටුණත් ඌ අපි එක්ක වැවේ නාගන්ඩ වත්පොරේ වැටෙන්නවත් කිසිම දාක ආවේ නැති විත්තිය මට හොඳට මතකයි

අපේ ගං තුලානේ වැඩිහිටියෝපොඩි එවුං අතරේ මහ පුදුම බැඳීමක් තිබුණා .ගමේ කාටත් තව කෙනෙක් එක්ක අමනාප වෙලා වැඩි දවසක් ඉන්න අමාරුයිවැඩිහිටියන්ගේ ඒ ගතිය පොඩි එවුන් වෙච්ච අපිටත් හොඳාකාරවම පිහිටලා තිබුණේ කොටි පැට්ටුන්ට දඩයමේ යන්ඩ උගන්නන්ඩ ඕනෙ නැතුවා වගේමයි.

අපි වස්තුහාමි අයියට කොයිතරම් කොලොප්පම් කළත් ඌව කොන් කරලා තියන්න කිසිම අදහසක් අපිට තිබුණේ නෑ ඌ කොයි වෙලෙත් තනිවෙලා කාලෙ ගෙවන්න හැදුවත් අපි ඌව අමතක කරලා දාලා නිකම්ම උන්නෙත් නෑ ඌව අපේ ගානට ගන්න අපිත් පුළුවන් තරම් වලිකෑවා .

වස්තු අයියා මොකක් බං උඹේ ඔය හැටි සෝමාරි කම වරෙංකො බං අපි එක්ක සෙල්ලං කරන්ට” 

අපි එහෙම කියද්දි වස්තු හාමි අයියා ඉඳන් මෙහෙම කියනවා 

මට බැරුං ඔය උඹලා වගේ වැල්ලෙ නටන්ටයි තුවාල කරටන්ටයි .” 

වස්තු හාමි අයියා අපිත් එක්ක ඉන්න වෙලාවට කල සමහර විගඩම් නිසා අපිට පුදුම හිතුණ වාර නම් එමට තිබුණා 
ගමේ එකටම උන්නු අපේ යාළු මිත්තරයෝ සමාගමට මුත්‍රා බරක් දැනුණාම ඒ බර හෑල්ලු කරගන්න තැන නොතැන බැලීමක් තිබුණේ නෑ ගහකට ගලකට හෝ බිච්චියකට ඒ බර නිදහස් කරලා අපි සාමාන්‍ය විදිහට උන්නත් වස්තුහාමි අයියා එහෙම කළේ නෑ ඌට මුත්‍රා බරක් දැනුණාම ඌ බැද්දේ ඈතටම ගිහින් ඒ බර හෑල්ලු කරගෙන ආවා .

අඩෝ වස්තු උඹේ අහවල් එක රත්තරන්ද බං ඔච්චර හැංඟිලා හුජ්ජ කොරන්න යන්නේ

කට කැඩිච්චි කොල්ලෙක් එහෙම කියාපු දාට වස්තුහාමි අයියත් නිකම්ම උන්නේ නෑ 

උඹලට ලැජ්ජ නැතුවට මං මුනා කරන්න ?” 

වස්තුහාමි කල ඔය වගේ වැඩ නිසා කොලු රැළ ඌව නිතරම කොලොප්පමට ගත්තා ඒත් උගේ අමුතු වැඩ නෙවේ යන්තමට වත් අඩු වුණේ රොමියෙල් අප්පු මාමලාගේ ගෙදරදී ඌ කරපු තවත් වැඩක් ඒ බවට සාක්කි.
රජේ රස්සාවක් කරවුව රොමියෙල් අප්පු මාමා එක දවසක් උගේ ගෙදෙට්ට පරණ ඩෙක් දණ්ඩකුයි දොඹ සයිස් පීකර දෙකකුයි ගෙනවාඑදා ඉඳන් හැමදාකම හැන්දෑ වරුවේදී ගමේ කොල්ලෝ වැඩිහිටියෝ සෑහෙන ගණනක් එහේට එකතු වෙලා චිත්තරපටි බැලුවාඒ හැම චිත්තරපටියක්ම බොහෝම පරණ සිංහල ඒවාඒ චිත්තරපටි වැඩිහිටියන්ට අල්ලලා ගියාට අපිට නම් පුදුම විදිහට අප්පිරියා වෙලයි තිබුණේ.

රොමියෙල් අප්පු දෙමහල්ලෝ රස්සාවට යන හන්දා උදේ වරුවේ නම් උන්දැගේ ගෙදර කවුරුවත් හිටියේ නෑ .ඉතින් වංගියක් අපි රොමියෙල් මාමගේ ලොකු පුතා බන්දුට කන්නලවු කරලා කරලා මයෙ තැපැල් හැඳුනුම්පත ඇපේට තියලා ටවුමෙන් ගෙන්න ගත්තු චීන හටන් තියෙන ඩෙක් පීස් එකක් බලන්න කතා වුණා.

පහුවදා ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් පිටත් වෙලා පොඩි දුරක් ගියපු අපි ආපහු හැරිලා කැලෑ පාරකින් රොමියෙල් මාමලෑ ගෙදෙට්ට රිංඟුවා රොමියෙල් මාමගේ පුතන්ඩියා හදා දුන්නු තේ කහට උගුර ගානේ බොන ගමන් අපි උපන් තේකට නොදුටු චීන හටන් තිබිච්චි චිත්තරපටිය බලන්න ගත්තේ හිතේ කොනක හැංඟුන පුංචි බයකුත් එක්කයි . “මොකෙක් හරි අපිව දැකෝතින් නම් අපි කපෝතියිකාගෙ කාගෙත් හිත් වලට එහෙම දැනෙන්න ඇති ඒත් චීන හටන් බලන්න තිබුණ ආශාව හන්දම අපි කවුරුත් ඉස්කෝලේ ඇඳුම් පිටින්ම ටීවී එක වටේ වට වෙලා කටවල් වලින් ඒ දිහා බලන් උන්නා 

මොහොතකින් හටන ඇරඹුණා .ඩෙක් පීස් එකේ උන්න චීන නළුවා උගේ පෙම්වතිය බේරගන්ට තවත් චීන්නු හැට හැත්තෑවක් එක්ක හරි හරියට පොරේ !. තේ කෝප්ප අත් වල තියාගත්තු අපිත් ඉහළ ඇද්ද හුස්ම පහළට නොගෙන අත් මිටි මොළවාගෙන ගැහෙන හදින් ඒ දිහා බලාන උන්නේ ගුඩු කරපු පොල් ගෙඩි වගේ ඒත් සටන අවසාන මොහොතට ලං වුණාම අපි කවුරුත් බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වුණා.

අගුළු දා වහලා ගෙදර දොරට කවුදෝ දුන්නු බර පා පහරක් හන්දා ඒ දොර කොන්ඩිපට්ටම් වලින් ගැලවිලා බාගෙට විවර වුණා 

බාගෙට ගැලවුණු දොරින් ගේ ඇතුළට පැන්නේ රොමියෙල් අප්පු මාමා !.
උගේ මූණ අලවු යකාගේ මූනටත් වඩා බියකරුයි ඇස් දෙක ගොරකා යකාගේ ඇස් දෙකටත් වැඩියෙන් රතුවෙලා .

උඹලා ඉස්කෝලේ යනවා කියලා මුනා මේ මේ බලන්නේ ?”

අනේ මාමා අපි මේ චීන් හටන් තියන පී. . ස් එකක් බලන්ඩ . . “

රොමියෙල් මාමට වග උත්තර බඳින්න අපි උත්සහ කරන අතරේ අපේම කරුමේ එතනදිත් හරහට හිටියා

චීන්නු රොත්තටම හතර අතට නෙලලා දිග්විජය කල චීන නළුවා උගේ පෙම්වතියව බඩට වඩාගෙන තොල්පටි වලින් මහ අසික්කිත හාදුවක් දුන්නා ඒ හාද්ද දැක්ක රොමියෙල් අප්පුහාමි මාමට මරුවා නැංඟා !

හත්තිලවුවේ අර වස්තුහාමි පුතා කීව කතාව ඇත්ත උඹලා මේ ගේ ඇතුළට වෙලා අසික්කිත චිත්තරපටි බලවුවා නේද දැං කෝමද යකුනේ මම ගමේ උන්ට මූණ දෙන්නේ මේ අටමගලේ තමා මෙවුවට මුල .” 

එහෙම කියවුව රොමියෙල් මාමා ඩෙක් පෙට්ටිය දෑත බදලා උස්සලා පොළවේ ගැහුවා .උතුර දකුණ මාරු වෙච්ච අපිත් ඔළුව හැරුණ අත දුවලා කැලේක හැංඟුණා 
පහුවදා උදේ ගෙවල් වලින් හම්බ වුණ ගුටි පූජාව නිසා ඇදුම්කන අත පය වල පොල් තෙල් උලා කියාගෙන අපිත් ඉස්කෝලෙ යන්න පිටත් වුණා .වීරයෝ වගේ අඩිය තිබ්බත් අපේ හිත් වල තිබුණේ මහා ලොකු ලැජ්ජාවක්.එක හාදුවක් නිසා අපි බලාපු චීන හටන් චිත්තරපටිය අසභ්‍ය බවට රොමියෙල් අප්පු මාමාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල රැඟුම් පාලක මණ්ඩලය තීන්දු කරලා තිබුණා .

අපි අසභ්‍ය චිත්තරපටියක් බලා ඇති බව ගං තුලානේ හෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා තිබුණාඒ කාලේ හැටියට සහ අපි උන්නු වටපිටාවේ හැටියට අපි කරලා තිබුණේ සමාව දෙන්න බැරි තරමේ මහා ලොකු වරදක් ! . ගමේ එවුංවොන්ගේ කටවල් වලින්ම කියනවා නම් අමු කුපාඩි කමක් ! .

ඕකුං ඔවුවා බලලා තව මොනවා කරනවාද දන්නෑ කෙල්ලෙක් වත් ඕකුංට පෙන්න නාන තොටේ තියනවා නෙවෙයි !” 

සුමනාවතී උපාසක අම්මා මම ඉස්සරහ පිටම උඩහ ගෙදර ධනපාල මාමා එක්ක කියද්දි මගෙ සකල සරීරෙම හිරි වැටිලා ගියා .

වස්තුහාමියා අපිව කෑවා !!” හැමෝගෙම කටවල් පල්ලෙන් බේරුණේ ඔය වචනේ විතරයි
අන්තිමේදී මේ සිදුවීමට මුහුණ දුන්නු අපි හැමෝම තිරණයක් ගත්තාමේ හැම දේටම මුල් වෙච්ච කේලම් කාරයා වෙච්ච වස්තුහාමිට අමතක නොවෙන පාඩමක් උගන්වන්න ඕනෙ කියලා කොයි කවුරුත් කතා වුණා.

එදා හැන්දෑවේ කුණු ඇල පිටිපස්සේ තිච්චි කැටකෑල ගහේ වස්තුහාමි අයියව කොහු ලණුවකින් බැඳ දාලා තිබුණාරංජිත් සහ බන්දු උගේ කටට කොහොඹ කොළ ඔබද්දී සිරිමෙවන් සහ පැට්ටා උගෙ ඇඟට දිමි ගෝට කඩලා දැම්මා .

සත්තයි ආයේ එහෙම කරන්නේ නැතෝ මට යන්න දියංකොයි .!” වස්තුහාමි අයියා අඬන්න තියාගත්තා.
කඳුළු පෙරමින් අඬන වස්තුහාමි අයියා දැක්කම මොහොතකින් අපි කොයි කාටත් දුක හිතුණා මොනා වුණත් මූ අපේ එකෙක් අපි හනි හනිකට උගේ බැමි ලිහලා දිමි කාපු තැන් වලට මෙන්ටේරියා කොළ තළලා තියලා ඌව ගෙදර ගෙනිහින් දැම්මා .එදයින් පස්සේ මම දන්න තරමින් අපේ කාණ්ඩෙ කිසිම එකෙක් වස්තුහාමි එක්ක වැඩි ඇයි හොඳයියට ගියේ නෑඌට කොලොප්පම් කළේ වත් ඌ ගැන හෙවුවේ බැලුවේ වත් නෑ කෙටියෙන්ම කීවොත් ඌ කොන් වුණා 

ගමේ කොල්ලෝ වස්තුහාමිව කොන් කරද්දී ගමේ කෙළි පැට්ක්කියෝ ටික වස්තුහාමි වටේ වට වුණේ ඇයිද කියන්න මම තවම දන්නේ නෑ ඉස්කෝලේ ගියත් දහම් පාසලට ගියත් වස්තුහාමි හිටියේ කෙල්ලො එක්ක විතරමයි ඌ අපිත් එක්ක ඉඳිද්දී මූණේ නොතිබිච්ච අමුතු හිනාවක් කෙල්ලො එක්ක ඉන්නකොට උගේ මූණේ ඇඳිලා තියන හැටි කොයි කවුරුත් දකින්න ඇති .

එවුන්ට හොඳ නම් අපේ මොකෝ ?” අපිත් කරබාගෙන උන්නා 
කාලෙ ගතවෙද්දි බාල කාලේ හිමිදිරිය ගෙවමින් උන්නු අපේ ජීවිතත් මද්දහනෙට ලං වුණා ඇඟ පතකර දඬු උස් මහත් වෙද්දී පැට්ටු වගේ උන්නු අපිත් හාල් දන්ඩෝ වුණා හරි හැටි ඉගෙන ගත්ත එවුන් විස්ස විද්‍යාලෙට පද්දන අතරේ යන්තම් බේරිච්චි එවුන් පුංචි පහේ රස්සා කරන්නත් යලටත් නැති මහටත් නැති එවුන් විතරක් ගමේ පාරවල් කඩ පිල් වලත් ඉතිරි වුණා වස්තු හාමි අයිය නම් අයිති වුණේ විස්ස විද්‍යාලෙටකෙල්ලො එක්ක පාඩම් කල හන්දත් අපි වගේ සෙල්ලමට මුල් තැන නොදී පොතට කාලේ වෙන්කළ හින්දත් ඌ විස්ස විද්‍යාලෙට තේරිච්ච එක අපි කාටත් අරුමයක් වුණේ නෑ 

දවසක් දා අතින් කටින් බඩු මුට්ටු කරපින්නාගෙන වස්තුහාමි අයියා ගමෙන් පිටත් වෙලා නගරේ බෝඩිං වෙන්න යන්න පිටත් වුණා ඌට අපිව දාලා යන්ඩ දුකක් තිබුණේ නෑ ඌ යන්න කලින් දවසේ ගමේ කෙල්ලෝ හැමෝටම ඌ යන විත්තිය කියලා තිබුණත් අපිව නම් බලන්නවත් ආවේ නෑ අපිටත් ඌ ගැන වගේ වගක් තිවුණේ නෑ !. 

නගරේ විස්ස විද්‍යාලෙට තේරුණු වස්තු හාමි අයියා කීප වංගියක් ගමටත් පැද්දුවාඒත් වැඩි දොහක් ගමේ රැඳෙන් නැතුං ඌ ආයෙත් නගරෙටම පරන්දු වුණා.ඌ ආයෙ ගමේ ආවෙම නෑකාලේ ගෙවෙද්දී කාට කාටත් ඌව අමතක වෙලා ගියා ඔය විදිහට අවුරුදු ගාණක් ගෙවුණා 

වංගියක් ටවුමේ පොළට ගියපු මම අතින් කටින් බඩුත් එල්ලගෙන බස් එකක් එනකල් බස් නවත්තන නුග ගහ පල්ලේ ඉඳගෙන පාර බලං උන්නා පාර දිහා බලාන හිටපු මම කවුදෝ කතා කරන හඬකින් ආපහු හැරිලා බැලුවා .මගෙ පිටිපස්සේ උන්නේ මම ජීවිතේට දැකලා නැති ගෑනු පරාණයක් අරුමෝසම් බඩු අතේ කරේ පුරෝගෙන හිටි උන්දෑ අඩි උස උල් සපත්තු දෙකක් දාලා ඕනෑවට වඩා තොල් රතු කරගෙන උන්නා ඇඟේ දැවටුණු සාරිය ඉස්තරම් එකක් වගේම කනේ එල්ලං උන්නු කඩුක්කන් දෙකත් වටිනා එවුවා බව මම එක බැල්මකින්ම තේරුම් ගත්තා .

සල්ලි කාර නෝන කෙනෙක් මම හිතෙන් මිමිනුවා 

මල්ලිට මාව අඳුනන්න පුළුවන්ද ?”

බෑ මිසී කවුද ?”

මල්ලියේ මම පොඩි කාලේ උඹලත් එක්ක හිටි වස්තු

මට මගේ ඇස් අදහා ගන්ට බැරි වුණා මගෙ ඉහෙන් කණින් දාඩිය බේරෙන්න වුණාඇත්තටම ඒ උන්නේ වස්තු හාමි
ඔහෙපලයං. .! ඌ ගෑනියෙක් වෙලා කලින් නමට විතරක් ගෑනියෙක් වෙච්චි ඌ මොන දහංගැටයක් දාලා හරි හැබෑවටම ගෑනියෙක් වෙලාඋරහිස ළඟට යනතුරු කඩා හැලෙන කොණ්ඩේත්කන් දෙක පල්ලෙන් එල්ලෙන කඩුක්කන් දෙකත්ළඟින් හමන කොලොන් සැරත්ඇඟ වැහිලා තිබුණු සාරියත්පමණට වඩා ලොකු පියයුරු දෙකත් අමතක කළානම් ඌ පරණ වස්තුහාමිම තමා

නගරෙට ගිය වස්තුහාමි හාමිනේ වෙලා ඕං ඔහොම ගමට ආවාඋන්දෑ විස්ස විද්‍යාලේ ගිහින් ගමට ගෙනාපු උපාධියක් නම් නෑඒ වෙනුවට ගමේ කිසිදාක නොතිබ්බ විගඩමක් වෙච්චි ගෑනු සැලුන් එකක් පටන් අරං ගෑනුන්ගේ කොණ්ඩෙඇහිබැම් හැඩ කරන්න පටන්ගත්තාගමේ කෙලිච්චියෝ ටික වස්තුහාමි වටේ හනිකට එකතු වෙච්ච හන්දා උගේ සැලුන් එක ජයටම නැගලා ගියා හැබැයි ඒ නැගලා ගිය වේගෙන්ම බැහැලා ගියා.මුලදී කෙල්ලෝ ඒ සැලුන් එකට යන්න ගත්තත් ගෙවල් වලින් උන්ට දඬුවම් කල හන්දා ටිකෙන් ටික වස්තුහාම්ගේ සැලුන් එක පාළුවට ගියා 

රටට ලෝකෙට වැඩි අරුමයක් නොවුන ඔය ලිංග විපර්‍යාසය කියන දේ අපේ මේ වැවුගම්පත්තුවට නම් අරුමයක්ම වුණාඉතින් අලුත් වස්තු හාමිනේව පිළිගන්න ගමේ කිසි කෙනෙක් සූදානම් වුණේ නෑගමේ කවුරුත් වස්තු හාමිනේට බය වුණා ඉතින් උන්දෑ සැලුන් එක වහලා දාලා ආයෙත් නගරෙටම පරන්දු වුණා

වස්තු හාමිනේ දැන් නම් කොයි ලෝකේ ඉන්නවද කියන්න මම නම් දන්නෙ නෑ .ඒත් මම හිතෙනවා මම මැරෙන්න කලියෙන් ආයෙමත් වංගියක් ඌව දැකගන්න හැකි වේවි කියලා කාට කොහොම වුණත් මට නම් ඌ තවම අපේ එදා උන්නු වස්තුහාමි අයියාම තමා 

නම මනංකල්පිතයි 

කෘතීම රසකාරක කිසිත් නොදා ඇති කතාව ඇත්තයි .! 

සිත්තම නිරෝෂන් කරුණාතිලක


රැජින පත්තරේට ලියවුව කතාවක්.

0 comments:

Post a Comment