Wednesday, February 19, 2014

ගැහැණු මනසක් ඇතිව උපන් කොල්ලෙක්



ඇය තමා මිතුරන්ගෙන් වෙනස් බව අවබෝධ කර ගත්තේ ළමා කාලයේදීමය. ඇගේ කතාව බොහෝ දුරට ශ්‍යාම් සෙල්වදොරෙයිගේ The Funny Boy හි කථා නායකයා වන අර්ජුන්ට සමානය. නමුත් අර්ජුන්ටත් වඩා කෙල්ලක වීමේ දැඩි ආශාවක් ඇයට තිබිණි. කුඩා කළ ඇගේ අල්මාරිය පිරී තිබුණේ ගැහැනු ඇඳුම්, බෝනික්කන් හා අක්කලා පාවිච්චි කොට ඉවත දැමූ ලිප්ස්ටික් කියුටෙක්ස් වලිනි.

ඊනිඩ් බ්ලිටන්ගේ Famous Five හි ‘ජෝර්ජ්’ වූ ‘ජෝර්ජියානා’ ගැන කියවා තිබූ ඇගේ මධ්‍යම පාංතික දෙමාපියෝ පවුලේ බඩ පිස්සාගේ මේ හැසිරීම එක්තරා දුරකට ඉවසූහ. තත්වය තමන්ට පාලනය කරගත් නොහැකි මට්ටමකට ළඟාවී ඇති බව ඔවුන්ට වැටහුණේ ඇය අපොස සාමාන්‍යපෙළ පන්තියට පිවිසෙන කාලය වන විටදීය. මේ වන විට එක්තරා දුරකට මෙය නිවසින් පිටත්ද කතාවට ගැණුනු මාතෘකාවක් බවට පත් වී තිබිණි.

ඉන් පසු ඇති වූ සිද්ධි දාමය පහත පරිදි සාරාංශ කොට දක්වන්නේ මගේ උත්සාහය කෙටි කතාවක් රචනය කිරීම නොවන නිසාය.

ඇගේ දෙමාපියන් මුලින් වක්‍රවද පසුව ඍජුවද මේ සාකච්ඡාවට පිවිසීම; ඇගේ අල්මාරියේ පිරුණු ගැහැණු පළඳනා කඩින් කඩ ඔවුන් විසින් ඉවත් කිරීම හා ඇය ඊට විරෝධය දැක්වීම; ඇගේ මිතුරු ඇසුර කඩා කප්පල් වීම; උසස් පෙළ සමත්ව සරසවියට වරම් ලැබීමට සිටි ඇගේ අධ්‍යාපනය මඟ නැවතීම; එක් අවස්ථාවක තමාට ලිංග විපර්යාස සැත්කමක් කර ගැනීමට අවශ්‍ය බව ඇය පැවසීම (එය තායිලන්තයේදී කළ හැකි බව ඇය කොතැනින්දෝ සොයා ගෙන තිබිණි.) හා දෙමාපියන් ඊට එකහෙළා විරුද්ධ වීම; ඇය සිය දිවි නසා ගන්නා බවට තර්ජනය කිරීම හා නිවාස අඩස්සියට පත්වීම; දීර්ඝ කාලීන හුදෙකලා කාල පරිච්ඡෙදයකට පසු ඇය එක්තරා දුරකට අවට පරිසරයට අනුකූලත්වයක් දක්වා පිරිමියකු ලෙස ජීවත් වන්නට තීරණය කිරීම; දෙමාපියන් හා පවුල සමඟ වූ ගැටුම් සම්පූර්ණයෙන්ම නොවෙතත් යම් මට්ටමකට පහවීම.

මට ඇය හමුවන්නේ සංගත තැටි අලෙවි හළක රැකියාවක් සොයා ගැනීමෙන් යම් කාලයකට පසුය. නිවසට හා කාර්යාලයට ඇය පිරිමියෙකි. පිරිමි ඇඳුම් ඇඳ නිවසින් පිටවන ඇය ‘පිරිමි’ රැකියාවක් කරයි. පිරිමින් සමඟ ගැවසෙයි. ඇගේ ගැහැණු පළඳනා සියල්ල ඉවත් කොට ඇති අතර සම්පූර්ණ කාමරය දිනපතා අම්මාගේ අධීක්ෂණයට ලක්වේ. ලිප්ස්ටික් එකක්වත් ගෙදර ගෙනයාම ඇයට තහනම්ය. ඇය තම ගැහැණු බව අමතක කොට පිරිමියකු සේ ජීවත් වෙයි.

ඇයට ගැහැනියක විය හැක්කේ සයිබර් ලෝකයේදී පමණි. මේ ද්වාරය දෙමාපියන්ට රහසක් නිසා තවමත් විවෘතය.

සයිබර් ලෝකයේ මිතුරන්ව මාස කිහිපයකට හා SMS සිය ගණනකට පසුව ඇය මා හමු වීමට අකැමැත්තෙන් එකඟ වෙයි. අපි දිවා ආහාරයට MC එකේ සෙට් වෙමු.

තථ්‍ය ලෝකයේ මේ හමුව සයිබර් ලෝකයේ හමුවට වෙනස්ය. මා ඉදිරියේ ඉන්නේ කිසිම ගැහැණු පාටක් නැති කොල්ලෙකි. වෙන කෙනකුට මේ කෙල්ලකැයි හඳුන්වාදිය නොහැකි තරමට ශරීරයෙන් පිරිමි වූ කොල්ලෙකි. ප්‍රසිද්ධියේ ඔහුගේ හැසිරීම පිරිමිය. එහෙත් අප දෙදෙනා පමණක් තනි වන කල්හි ඇගේ කටහඬ පවා මෘදු වෙයි. කෙල්ලක ලෙසින් ඈ තොඳොල්වීමට පටන් ගනී. ඇගේ ආහාර මට තෝරා ගන්නට ඉඩ හරියි. (“Whatever you like, aiya”) මට අයිස්ක්‍රීම් කවන්නට තැත් කරයි.

ඇයට ඇත්තේ එකම ඉල්ලීමකි. කාන්තා ඇඳුමකින් සැරසීගත් කාලයක් ඇයට මතක නැත. දැන් අවශ්‍ය පැය කිහිපයකට හෝ ඒ දැඩි අවශ්‍යතාවය ඉටු කර ගැනීමටය. අවශ්‍යතාව කෙතෙක්ද දැඩිද යත් ඒ වෙනුවෙන් ‘ඕනෑම කැපකිරීමක්’ කිරීමට සූදානම් බව ඇය කියයි. මම ඇගේ ව්‍යංගය නොවැටහුනාක් මෙන් කල්පනා කරමි.

මේ ලෙහෙසියෙන් ගත හැකි තීරණයක් නොවේ. තව සිව් දෙනකු සමඟ මා බෙදා ගන්නා බෝඩිම සති අන්තයන්ට හිස් වන බව ඇත්තකි. මා බෝඩිමට මිතුරන් නිතර කැටුව එන බවත් ඇත්තකි. එහෙත් ‘ගැහැණු ඇඳුමින් සැරසුණු කෙනෙක්’ බෝඩිම තුළ වෙන කෙනෙකුට ඇස ගැටීම නොසිතූ ප්‍රතිඵල ගෙන දිය හැකිය. දැඩි අවදානමක් ගෙන මම ඇයට කැමැත්ත පළ කරමි. කොන්දේසි රාශියක් ඇතිවය.

“So what do you want in return?” ඇය අසයි. “Nothing” මම උරහිස් හකුළුවමි. ඇය මා වැරදි විනිශ්චයකට භාජනය කිරීම ගැන සියුම් අසතුටක් මා සිත මෝදුවෙයි.

කලකට පසු අපි එක්තරා දීර්ඝ සති අන්තයක House of Fashion ඉදිරිපිටදී නැවත මුණ ගැසෙමු. මේ ඔපරේෂන් එකට අඩුම කුඩුම මිළදී ගන්නටය. ඇය ළඟත් (පෙම්වතියක නැති ) මා ළඟත් කාන්තා ඇඳුම් පැළදුම් නැත. ඒ හැම දෙයක්ම මිළට ගත යුතුය. කොල්ලන් දෙදෙනෙකු Ladies Section එකේ පැය හතරක කාලයක් තිස්සේ ඇඳුම්, විලවුන් තේරීම කාට නිරීක්ෂණය වීදැයි මම නොදනිමි. ඇගේ ගැහැණු මනස කිසිවක් එක්වර මිළදී ගන්නට අසමත්ය. ඇය ගැහැනියකට ජීවවිද්‍යාත්මකව උරුමවී ඇති ‘එකතු කිරීමේ’ මෙහෙවර උපරිමයට අත් විඳියි. මම සැම විනාඩි පහකටම සැරයක් ඇයට කාලය ගැන මතක් කරමි. (කොල්ලකු වුවද බෝඩිමට ගෙන යා යුත්තේ දවල්ටය.) කාන්තා යට ඇඳුම්ද ඇතුළු අපේ අඩුම කුඩුම තොගය දුටු විට මිළදී ගැනීම් කවුන්ටරයේදී ඇහි බැම් ඉස්සෙතැයි මා සිත ඇත්තේ විශාල බයකි. වාසනාවකට එවැන්නක් නැත. ඇගේ එකම කනස්සල්ල, ගන්නට සිතා සිටි මොකද්දෝ ම කවදාවත් නම අසා නැති ක්‍රීම් වර්ගයක් හමු නොවීමය. MC යමුයි ඇය යෝජනා කරයි. කාලය නැතැයි මම කියමි. “You people never understand how a woman feels” ඇය මට රවයි.

බෝඩිමේදී හැසිරිය යුතු ආකාරය ගැන මට පූර්ව සැලැස්මක් ඇත. පිරිමි ශරීරයක් ඇතද ඇය ගැහැනියකි. මම ඇයට නිදහසේ ඇඳුම් මාරු කර ගැනීමට ඉඩ දී ඉවත යමි. ලජ්ජාශීලී සිනාවකින් ඇය නාන කාමරයට රිංගයි. හැම මොහොතක්ම ඇය හැකි ඉහළම මට්ටමෙන් අත් විඳින්නාක් සේය. පිරිමි පස්දෙනකු භාවිතා කරන නාන කාමරයක් ගැහැනියකට භාවිතා කිරීමට දීමට සිදුවීම ගැන මම ඇගෙන් සමාව ඉල්ලමි. “Its okay aiya, I am used to it” ඇගේ හඬ දිය පහර වැටෙන හඬ අතරින් ඇසේ.

පැයකට මඳක් අඩු කාලයක් ස්නානාගාරයේ ගතකර ඇය එළියට එන්නේ කාන්තා නිදන ඇඳුමකිනි. නුහුරු ලෙස කර ඇති හැඩ ගැන්වීම් ආභරණයක් නොවේ; කොලු ශරීරය වෙනස් කිරීමට දැරූ නිසරු වෑයම් පමණකි. ළැම ඉස්සී පෙනෙන්නේ ඇය එතැන මොනවා හෝ පුරවාගෙන ඇති නිසා විය යුතුය. “Am I beautiful?” ඇය අසයි. එසේයැයි මම බොරු කියමි. (අනෙක් අතට ගැහැණියක සේ සැරසී සිටින ‘පිරිමියකු’ මනින මිනුම් දඬු මා දන්නේ නැත.)

ඈට ලබාගත් නිදහස උපරිම ලෙස භුක්ති විඳීමට සලසා, පරිගණකය ක්‍රියා කර, දොර අගුළු දමා මා බැහැර වන්නේ දහවල් කෑම පැකට් දෙකක් ගෙනෙන මුවාවෙනි. මා ඊට ඕනෑවටත් වඩා කල් ගනිමි. මා ඇගේ නිදහසට බාධා කළ යුතු නැති නිසාය. සම්පූර්ණයෙන්ම බැහැරවී සිටීමට වුව මා කැමතිය. එහෙත් බෝඩිමේ අන්කල් නිදහසට කාරණාවක් හොයාගෙන කොයි වෙලේ හෝ කාමරයට ඇහැ දැමිය හැකිය. (“සද්දයක් ඇහුණට මම හිතුවෙ හොරෙක් කියලා”) ඊට ඉඩ නොතැබිය යුතුය.

මා නැවත එනවිට නංගී කෙනකු අයියාට කරන්නාක්සේ ඇය මගේ කාමරය අස්පස් කරමින් සිටී. මේ මට ඇය කළගුණ දක්වන ආකාරයද, කලාතුරකින් ලැබුණු ගැහැණුකම උපරිම ලෙස භුක්තිවිඳින ආකාරයද මම නොදනිමි. (ඇය ගිය විගස මේවා මා යළි අවුල් කළ බව ඈ නොදනියි.)

සවස තුනට පමණ බඩගිනි මෝරා එන විට අපි ආහාර ගනිමු. (ඇය තක්කාලි සලාදයක් හැදූ බව කියන්නට අමතක විය.) ඒ අතර මෙතෙක් නොඇසූ සංවේදී කරුණු කීපයක් මම ඇගෙන් අසමි. “No, my penis was never a problem for me. I wanted the operation just to complete the process. Not that I hated it.” කියයි.

ඇඳිරි වැටී එද්දී අපි වෙන්වෙමු. මිළට ගත් අඩුම කුඩුම ගැන මට දුක හිතෙන්නේ අප ඒවා දැන් විනාශ කළ යුතු නිසාය. ඇයට එය ගණනක් නැත. පැය කිහිපයක නිදහස ගැන ඇය ආමන්දානන්දයට පත්ව සිටී. නළලට උණුසුම් හාදුවක් දී ඇය මගෙන් වෙන්වෙයි.

අප වෙන්වූයේ නැවත හමුවන්නට වුවත් මොකද්දෝ හේතුවක් මත අපදෙදෙනාම එකිනෙකා හා සන්නිවේදනය අවම කරමු. දිනපතා යැවූ SMS සතියකට වරක් වී සම්පූර්ණයෙන් නවතී. අළුත් අවුරුද්දට සුභ පතන්නට මා උත්සාහ කළ විට ඇගේ අංකය වෙනස් වී ඇති බවට පණිවිඩයක් ලැබේ. ඇගේ gmail ලිපිනයට යවන ලියුම් වලට පිළිතුරු නැත.


මෙය මා අන්තර් ජාලයේ සෑරිසරදි දුටු කතවක්.
උපුටා ගෑනිම


0 comments:

Post a Comment