Wednesday, February 19, 2014

ලිංග විපර්යාසයට පත් අබුසෑමියෝ

ජැමී ඊගල් (Jamie Eagle) උපත ලද්දේ පිරිමි දරුවකු ලෙසයි. ලුවිස් ඩේවිස් (Luvis Davies) උපත ලද්දේ ගැහැනු දරුවකු ලෙසයි. මේ වන විට ඔවුහු විවාහ ගිවිසගෙන සිටිති. එහෙත් තව මාස ‍ෙදාළහකට පමණ පසුව සිදුවන ඔවුන් අතර විවාහයේදී ජැමී ගැහැනිය ද ලුවිස් පිරිමියාද බවට පත්වනු ඇත.

එසේ වන්නේ මේ වන විටද පිරිමියකු ලෙස උපන් ජැමී හා ගැහැනියක ලෙස උපන් ලුවිස් ලිංග වෙනස්වීමකට බඳුන් වෙමින් සිටින හෙයිනි. කලක් තිස්සේ ඔවුන් දෙදෙනා ස්වාභාවිකව ලිංග විපර්යාසයට බඳුන් වෙමින් සිටියත් විවාහයට පෙර වෙනස් ලිංගිකයන් ලෙස පරිපූර්ණත්වයට පත්වීම සඳහා අවශ්‍ය වෛද්‍ය සැත්කම් හා මානසිකත්වය වැනි අනෙකුත් කාරණා සඳහා ඇති ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යෑමට ඔවුහු තීරණය කොට සිටිති.

මේ වන විට විසි හැවිරිදි වියේ පසුවන ජැමී හා විසි පස් හැවිරිදි වියේ පසුවන ලුවිස් ජීවත් වන්නේ එකටය. මෙසේ යුවළක් ලෙස ප්‍රසිද්ධියේ ජීවත් වන ඔවුනට එල්ල වන අපහාස උපහාස හා තාඩන පීඩන අරියාදුවල කෙළවරක් නැති බව ඔවුහු ප්‍රකාශ කරති.
පසුගියදා ජැමී - ලුවිස් යුවළ බි්‍රතාන්‍යයේ ITV රූපවාහිනී නාළිකාව ඉදිරියේ පෙනී සිටියේ සාම්ප්‍රදායිකත්වය හා යල් පිනූ ආකල්ප සමාජයෙන් තුරන් කිරීමට එය පියවරක් වනු ඇතැයි විශ්වාසයෙනි. එසේ ප්‍රසිද්ධියේ තමන් දෙදෙනාගේ තත්ත්වය කියාපෑමෙන් යම් පහසුවක් සැලැසෙනු ඇති බවත් තමන්ගෙන් ඊට දායකත්වයක් ලැබෙනු ඇතැයි සිතූ බවත් ඔවුහු කියා සිටියහ. එසේම The Sun ƒ£ Independent පුවත්පත්වල ද ජැමී - ලුවිස් කතාව පළකෙරිණි.

ජැමී හා ලුවිස් පළමු වතාවට මුණගැසී ඇත්තේ වසරකට පමණ පෙර විශ්වවිද්‍යාලයේදීය. ඔවුන් දෙදෙනාම තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වෙති. ඒ වන විට පිරිමියකු ලෙස පෙනී සිටි ජැමී තමාගේ ලිංග විපර්යාසය පිළිබඳ රහස තමාගේ විශ්වවිද්‍යාල මිතුරු මිතුරියන් කණ්ඩායමට හෙළිදරවු කිරීමට තීරණය කර තිබිණි. එම කතාව කීමට ජැමීට ආරාධනා කරනු ලැබුවේ ලුවිස් විසිනි.

පළමු හමුවීමෙන් පසු කිසිදු දිනෙක ඔවුන් දෙදෙනා වෙන්ව ජීවත් වී නැති බව රූපවාහිනී සාකච්ඡාවේදී කියැවිණි. එක් නිවෙසක ජීවත්වන මෙම දෙදෙනා අතර ඇති ලිංගික සබඳතාව ගැන ප්‍රශ්න කිරීමට රූපවාහිනී නිවේදකයා අමතක කළේ නැත. ඊට පිළිතුරු වශයෙන් ලුවිස් කියා සිටියේ ඔවුන් දෙදෙනා තවම ඔවුන්ගේ වෙනස්වූ ශරීර සමඟ එබඳු ක්‍රියාකාරකමකට හැකියාවකින් යුතු නොවන බවයි. එහෙයින් තම විවාහයට පෙර වෛද්‍යමය සැත්කම සම්පූර්ණ කරගත යුතුව ඇතැයි ලුවිස් කියා ඇත. ජැමී ද කියා සිටියේ තවත් බොහෝ මානසික හැඩගැසීම් ඇතුළු විවිධාකාරයේ ක්‍රියාදාම තුළින් පමණක් තමන් විවාහයට සම්පූර්ණ සූදානම් යුවළක් බවට පත්වනු ඇති බවයි.
මෙම සාකච්ඡාව තුළදී ලිංග විපර්යාසයනට බඳුන් වන්නන් ලෙස ඔවුන් මුහුණපෑ අත්දැකීම් හා දුෂ්කරතා ද ප්‍රකාශ විය.

ජැමීට අනුව පිරිමියකු ලෙස උපත ලැබුවත් තමා පිරිමියකු නොවන බවට ඔහුට අවබෝධ වී තිබුණේ ඔහුට වයස තුනේදී පමණය. ළදරු පාසලේදී ඔහු සැමවිටම ගැහැනු ළමයින්ගේ ඇඳුම් ආයිත්තම් ඇඳීමට කැමැති විය. ජැමී මුල්වරට තමා තුළ ලිංග විපර්යාසයක් සිදුවන බව දැනුම් දුන්නේ වයස 16දී ඔහුගේ සහෝදරියටයි. ඇය අනවශ්‍ය කලබලයකින් තොරව ඊට සවන් දීම ඔහුට ධෛර්යයක් විය. එහෙත් පවුලේ අනෙකුත් අයට එම රහස අනාවරණය කිරීමට තවත් කල් ගතවී තිබිණි. එසේම ලිංග විපර්යාසය ඉතා සෙමින් සිදුවූ බව ඔහු කියයි. ඊට වසර හතරක පමණ කාලයක් ගතවූ බවද ජැමී කියයි.

තමා තුළ සිදුවන ලිංග විපර්යාසය හේතුවෙන් පාසල් පන්තියේ ළමයින් අතරදී ඔහුට දැනුණේ වෙනස්කමකි. ඔහු පිරිමි ළමයින් අතරට නොගැළපිණි. එසේම ගැහැනු ළමයින් අතරටද නොගැළපිණි. හැමදෙනාම සිතුවේ ඔහු සමලිංගිකයකු ලෙසයි. ඔහුට නොයෙකුත් නම් පටබැඳි අතර කවටකමට ඔහුගේ හිසකේ මත චුයිංගම් ඇලවීමට ළමෝ ක්‍රියා කළහ. ද්විතීයික පාසලේ වයස අවුරුදු ‍ෙදාළහ වෙද්දී ඔහු පිරිමි ළමයින් අතර හිඳීමට කැමැත්තක් දැක්වීය. එහෙත් ඔහුට තිබුණේ ගැහැනු කටහඬකි. එහෙයින් නැවැත ඔහුට කවටකම් විඳින්නට සිදුවිය.
"මට ලැබී තිබුණේ වැරැදි ශරීරයක් නොවේ. නමුත් මට ලැබී තිබුණු අවයව නිවැරැදි වූයේ නැහැ. මා එම අවයවලට වෛර කළ අතර තරුණ වියේදී ඒවා කපා දැමිය හැකි නම් කියා සිතුවා" ජැමී හා ලුවිස් දෙදෙනාටම කියා සිටියහ. දෙදෙනාටම තරුණ ලක්‍ෂණ ලැබීමේ අවධිය බියජනක සිහිනයක් වී තිබිණි.

තමාට හැමදේම පැටලිලි සහිත වූ බව ජැමී කියයි. තමා සමලිංගිකයකු නොවන බව ඔහුට විශ්වාස විය. එහෙත් තමා වෙනස් බවද ඔහු දත්තේය. අවසානයේ ජැමීට සිය තත්ත්වය පිළිගැනීමටත් පිරිමියකු වෙනුවට ගැහැනියක වීමටත් ධෛර්යයක් වී තිබුණේ ටුල්සියා නම් වූ සිනමා තාරකාවය. ඇයගේ සෘජු ආකල්පත් මන බඳනා රූපශ්‍රී යත් ජැමීට ගැහැනියක ලෙස පෙනී සිටීමේ ආශාව වැඩි කොට තිබිණි. ජැමී ඒ මඟ ගෙන තිබේ. තමා තැබූ පියවර හේතුවෙන් සමාජයේ මිශ්‍ර ලිංගිකයන් වශයෙන් ජීවත්වන හා ලිංගික ගැටලු සමඟ ජීවත්වන අයට උපකාරීත්වයක් වේ යැයි ජැමී සිතයි. මේ වන විටත් තමා නිසා ඔවුන් දිරිමත් වූ බව බොහෝ දෙනකු කියන අතර ගැටලු ඇති තරුණ දරුවන්ගේ මවුපියන් උපදෙස් පතා ඒමට පටන් ගෙන ඇතැයි ජැමී කියයි.

ලිංගය කවරක් වූවත් නොසිතූ ආකාරයේ ලිංග විපර්යාසයකට බඳුන් වූවත් ජීවිතය ජීවත් කරවිය යුතු වේ. පිරිමියකු ලෙස ඉපදී ගැහැනියක වූ ජැමී ද ගැහැනියක ලෙස ඉපදී පිරිමියකු වූ ලුවිස් ද එම අරගලයේ යෙදෙමින් සිටී. දෛවය ඔවුනට එතරම් අකාරුණික වී නැත්තේ තනි නොතනිය ඔවුන් දෙදෙනා එක්කරලීමට කටයුතු සලසමිනි. ජැමී - ලුවිස් යුවළ තමන් හමුවේ ඇති අභියෝග ජය ගනිමින් මාස ‍ෙදාළහකට පසු විවාහ වනු ඇත.








රු කාරියවසම්
උපුටා ගෑනිම මවුබිම ඔන් ලයින්.
http://www.mawbima.lk/54-33719-news-detail.html

0 comments:

Post a Comment