Tuesday, July 29, 2014

ඔහු ඇයම විය ඇය ඔහුම විය


හතළිස් වියේ පසුවන ෆීලික්ස් ලෝස් 56 හැවිරිදි හෙලන් මෝෆිට් සමඟ විවාහ විමට තීරණය කිරීම සාමාන්‍ය කතාවකි. මඳ කථාබහකට හෝ ලක්වන්නේ ඔවුන් මෙසේ විවාහයකට එළඹෙන්නේ වෙනත් අය සමඟ විවාහයන් හතරකට ඇතුළු වී දරුවන් දසදෙනෙක් ද සහිතව වීම නිසාය.
එයත් සාමාන්‍ය සිදුවීම් හැටියට සැලකිය හැකිවේ. එහෙත් ෆීලික්ස් කලකට පෙර කේටි නම් කාන්තාවකව සිටි අතර හෙලන් කලකට පෙර ලෙස්ලි නම් වූ පිරිමියකු ලෙස සිටීම ඇදහීමට පවා අපහසු කථාන්තරයකි.
එසේ හෙයින් මෙසේ ලිංගික විපර්යාසයකට පත්ව සිටින ෆීලික්ස් ලෝස් හා හෙලන් මෝෆිට්ගේ විවාහය අපූරු සිද්ධියකි.
අඩිපහයි අඟල් අටක් උසැති හෙලන් නොහොත් ලෙස්ලි ෆීලික්ස් නොහොත් කේටිට වඩා උසින් වැඩි එසේම ශක්තියෙන් ද වැඩි තැනැත්තියක් වූවාය.
ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර එකිනෙකා කෙරේ පවතින ආදරය ඔවුන් එකිනෙකා දෙස හෙළන බැල්මෙන්ම ප්‍රකාශ වේ. එසේම මේ අපූරු ජෝඩුව බොහෝ දෙනාගේ අවධානයට ද යොමුවී ඇත.
ලිංගික විපර්යාස නිසා අපි දෙදෙනාම වසර ගණනාවක් තිස්සේ මහත් අසීරුතාවලට මුහුණ දුන්නා. මම මීට පෙර විවාහ තුනකට සම්බන්ධ වී සිටියා. මට ඒ කාලයේ හැම වේලාවේම හිතුණේ වැරදි කෙනෙකු මගේ සිරුර තුළ සැඟවී ඉන්නවා කියලයි. එහෙත් දැන් එම සිරගෙයින් මා නිදහස් වී තිබෙනවා. පාසලක ගුරු සහායකයකු ලෙස සේවය කරන ෆීලික්ස් පවසයි.
ගෙදර වැඩ අපි දෙදෙනාම එකතු වී ඉතාම සතුටින් ඉටු කරනවායි කී ෆීලික්ස් දැනට තම තමන්ගේ ලිංගික විපර්යාස සඳහන් උපන්දින සහතික ද ලබාගෙන ඇතැයි ද පැවසීය.
මා උපත ලැබිය යුතුව තිබුණේ පිරිමි ළමයකු ලෙසටයි. මගේ යාළුවෝ බෝනික්කන් සමඟ සෙල්ලම් කරද්දි මට අවශ්‍ය වුණේ පාපන්දු සෙල්ලම් කරන්න, ගස් නඟින්න, වගේ දේවල්. ඒත් මේ ආශාවන් සාමාන්‍ය දේවල් යැයි සිතා වයස 21 දී විවාහ වුණාය.
එහෙත් දරුවන් දෙදෙනෙකු ලැබූ පසු බොරුවෙන් ජීවත්වීම තවදුරටත් කළ නොහැකි යැයි තීරණය කළ කේටි තම සැමියාත් දරුවන් දෙදෙනාත් අත්හැර ගියේ දරාගත නොහැකි ශෝකයෙනි.
තම මානසික හා ශාරීරික ප්‍රශ්න ගැන කථා කිරීමට වෛද්‍යවරයෙකු හමුවීමට ගිය කේටිට එවැනිම ප්‍රශ්නයකට මැදිවී සිට ඉන් නිදහස ලබා කාන්තාවක බවට පත්ව සිටි හෙලන් හමුවුණේ ඒ අවස්ථාවේදීය. නොගැළපෙන ජීවිතයක් ගතකිරීම නිසා ඇතිවූ මානසික අසහනය ගැන හෙලන්ගෙන් ෆිලික්ස්ට තොරතුරු රැසක් අනාවරණය විය.
මමත් තුන්වරක් විවාහ වී සිටියා. මගේ බිරින්දෑ වරුන්ට දරුවන් අවශ්‍ය වුණා. මටත් දරුවන් ඕනේ උනේ මම පිරිමියෙකු බව පෙන්නුම් කිරීමටයි. එහෙත් මා පිරිමි සිරුරක් තුළ සැඟවී සිටින කාන්තාවක වීම මට මහත් වධයක් වුණා. මම මගේ බිරින්දෑවරුනට ආදරෙයි. දරුවන් අටදෙනාටත් ආදරෙයි. ඒත් මට අවශ්‍ය විදියට ඔවුන්ට ඒ ආදරය පෙන්නුම් කරන්න නොහැකිවීම මහත් වධයක් කරදරයක් වුණායැයි හෙලන් තම අත්දැකීම විස්තර කළාය.
ලින්කන් විශ්වවිද්‍යාලයේ සේවය කළ ලෙස්ලි නොහොත් හෙලන් ලිංගික විපර්යාසයක් සඳහා ක්‍රියාකිරීමට තීරණය කළ බව ඔහුගේ් දරුවන්ට ප්‍රකාශ කළේ අතිශය අපහසුවකිනි.
මගේ කුඩා දරුවන්ට මේ දේ කිව්වේ හරිම අපහසුවෙන්. මං මා විඳින අසහනය නැතිවන්නේ ගැහැනු කෙනෙකු වුවහොත් පමණක් යැයි මං ඔවුන්ට දැනුම් දුන්නා.
එවිට ඇයගේ සය හැවිරිදි කුඩා දරුවා කීවේ එහෙම වුණාම ඔයාට ඩැඩී කියල කිව්වොත් ඒක පිස්සුවක් වෙනවාකියායි.
මේ අතර ඔවුන්ගේ මිතුදම අතර දි කේටිව 2009 වසරේදි ලිංගික විපර්යාසයකට ඉඩ ලැබුණු අතර ඔවුන් දෙදෙනාගේ එක්වීමට ද මඟ පෑදිණි.



රෝහණ ආර්යරත්න
උපුටා ගෑනිමකි

0 comments:

Post a Comment