Tuesday, February 18, 2014

ජීවිතයට ඉතා වැදගත් වන ලිංගික අනන්‍යතාව [Sexual Identity]

මෙලොව වසන ඕනෑ ම ජීවියකු ලිංග බේදය අනුව ප්‍රධාන වශයෙන් කාණ්‌ඩ දෙකකට වර්ගීකරණය කළ හැකි ය. එනම් ස්‌ත්‍රී ලිංග හා පුරුෂ ලිංග වශයෙනි. එහෙත් මෙකී ප්‍රධාන කාණ්‌ඩ දෙකට අයත් ජීවී බහුතරය හැරුණු කොට නපුංසක ලිංග යනුවෙන් ද වෙන් වූ ප්‍රජා කොට්‌ඨාශයක්‌ ඇති බව අපි දනිමු. ම`ග තොටේ දී හමු වන පිරිමින් ලෙස හැඩ වූ ගැහැනුන් මෙන්ම ගැහැනුන් ලෙස හැඩ වූ පිරිමින් ද අප කොතෙකුත් දැක ඇත. මෑතක දී අගනුවරාසන්න ව නපුංසක ලිංග කාණ්‌ඩයට අයත් ප්‍රජාවක්‌ (neuteral community) සංවිධානය වී ඇති බවට ද විවිධ තොරතුරු අනාවරණය විය. කෙසේ වෙතත් නපුංසක ලිංගිකයන් කෙරෙහි සමාජය තුළ පවතින්නේ පිළිකුල් සහගත මතයකි. බොහෝ අවස්‌ථාවන්හි දී මෙවන් පුද්ගලයන් ගේ අස්‌වාභාවික හැසිරීම් (abnormal behaviours) හේතු කොටගෙන විවිධ අයුරින් ඔවුන් අපහරණයට ලක්‌ වීම නොවැළැක්‌විය හැකි ය.

සංසන්දනාත්මකව බලන කල අතීතයේ මෙන් නො ව, වර්තමානයේ නපුංසක ලිංගිකයන් බහුල වශයෙන් දක්‌නට ඇත. ඒ අතරින් ද බහුලව වෙසෙනුයේ ගැහැනුන් ගේ විලාසය ගත් පිරිමින් වීම විශේෂයකි. ඔවුන්ට ආවේණික විශේෂිත වෘත්තීන් ද සමාජයේ ප්‍රචලිත වී ඇත. මෙකී පුද්ගලයන් ගේ දේහ ලක්‌ෂණ, කටහඬ, අනුකරණය කරන්නා වූ විලාසිතා හා හැසිරීම් ඉතා අස්‌වාභාවික වන අතර අන් අය ගේ අවධානය යොමු කරවා ගැනීමට ඔවුහු දැඩි රුචියක්‌ දක්‌වති.

වර්ධනය වන නපුංසක ජනගහනය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා කාලෝචිත වන අතර නපුංසක ලිංගිකත්වය කෙරෙහි පවතින මනෝ විද්‍යාත්මක විවරණය අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ.

මනෝවිද්‍යානුකූලව ගත් කල මිනිස්‌ හැසිරීම් කෙරෙහි සෘජු ව ම බලපානු ලබන්නේ මනසේ ක්‍රියාකාරීත්වයයි. මනසේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මොළය තුළ ඇති රසායනික සංඝටක දායකත්වය දක්‌වයි. එබැවින් මානසිකව ඇති වන ව්‍යාකූලතා හෙවත් මානසික රෝග කෙරෙහි ද මනස තුළ ඇති රසායනික සංඝටක බලපාන බව මෙයින් පැහැදිලි වේ. ලිංගික අනන්‍යතාව පිළිබඳ ගැටලු පැවතීම ද එක්‌තරා මානසික රෝගයකි. මෙය Gender Identity Disorder ලෙස නම් කර ඇත. මේ රෝගය සහිත පුද්ගලයන් විවිධ නින්දා, අපහාස විඳිමින් ජීවිතය පුරාවට කල් ගෙවන අතර, සමාජ භීතිකාව (Social Anxiety), විශාදය (Depression) ආදී මානසික රෝගවලට ද ඉතා ඉක්‌මනින් ගොදුරු වීමේ අවකාශයක්‌ පවතී.

මෙවන් අවාසනාවන්ත රෝගී තත්ත්වයකට පත් වීම කෙරෙහි එම පුද්ගලයන් ගේ කිසිදු දායකත්වයක්‌ නොමැති අතර බොහෝ විට මවු කුස තුළ භ්‍රෑණ අවධියේ දී ඇති වන හෝමෝන අසමබරතාවන් (hormone imbalanc) මේ සඳහා බලපානු ලබයි. එපමණක්‌ නො ව මෙය ජාන විකෘතිතා (genetic abnormalities) හෙවත් අසාමාන්‍ය ජාන වර්ධනය වීම හේතුවෙන් ඇති වන සුලබ සිද්ධියක්‌ ලෙස ජාන විද්‍යාඥයන් දැනට සිදු කොට ඇති පර්යේෂණ ඔස්‌සේ සනාථ වී ඇත.

මෙකී පුද්ගලයන් ගේ මනස ක්‍රියා කරනු ලබන්නේ විරුද්ධ ලිංගිකයකු ලෙසිනි. එනම් පිරිමි තමන් ස්‌ත්‍රීන් යෑයි සිතා කටයුතු කරන අතර ස්‌ත්‍රීහු තමන් පුරුෂයන් යෑයි සිතා කටයුතු කරති. එබැවින් ඇඳුම් පැළඳුම්, කතා බහ, සිනාසීම, ඇවිදීම ආදී සියලු ඉරියව් ඉතා අස්‌වාභාවික ස්‌වරූපයකින් යුතු වේ.

මේ ලිංගික අනන්‍යතාව පිළිබඳ රෝගයට (Gender Identity Disorder) නිසි පිළියම් සොයාගෙන ඇති නමුත්, ශ්‍රී ලංකාව තුළ පවතින මානසික රෝග පිළිබඳව වන අවම දැනුවත්භාවය හේතුවෙන් ඒ පිළිබඳව දැනුවත් පුද්ගලයන් ඇත්තේ ඉතා සුළුතරයකි.

ප්‍රතිකාර (Treatments)

මෙකී ලිංගික අනන්‍යතාව පිළිබඳ රෝගය ඇති වීමට කිසියම් නිශ්චිත වයසක්‌ නොමැති වන අතර, ළමා විය, යොවුන් විය, මැදි විය, මහලු විය යන ඕනෑ ම ජීවන අවධියක දී මෙයට ගොදුරු වීමේ අවකාශය පවතී. එහෙත් ප්‍රතිකාර වශයෙන් දැනට සොයාගෙන ඇති Endocrine treatment ලබා දීම සඳහා අදාළ පද්ගලයා වැඩි විය පැමිණ තිබීම අනිවාර්ය වේ. මන්ද මේ ප්‍රතිකාරය හෝමෝන පදනම් කර ගනිමින් කරනු ලබන ප්‍රතිකාරයක්‌ වන බැවිනි. එහෙයින් ළමා වියේ දී මෙවන් රෝගී ලක්‌ෂණ දක්‌නට ලැබුණ ද, දරුවා වැඩි වියට පැමිණෙන තුරු ප්‍රතිකාර කිරීමේ හැකියාවක්‌ නො පවතී.

Endocrine ප්‍රතිකාරය හැරුණු කොට ලිංගික අනන්‍යතාව තහවුරු කිරීම සඳහා Cross-sex hormone නමින් හැඳින්වෙන හෝමෝන ප්‍රතිකාරයක්‌ සිදු කළ හැකි ය. තව ද Gender confirmation surgery නැමැති ලිංගාශ්‍රිතව සිදු කෙරනු ලබන ශල්‍යකර්මය ද වර්තමානයේ සුලබව කරනු ලබයි.

ඉහත සඳහන් ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකි නමුත් ශ්‍රී ලංකාව තුළ මේ ප්‍රතිකාර ක්‍රම බහුලව දක්‌නට නො ලැබෙන බව කිව යුතු ය. එහෙත් මානසික සෞඛ්‍ය උපදේශනය, හෝමෝන ප්‍රතිකාර (hormone treatments) භාෂා හා කථන චිකිත්සා (speach therapy) ආදිය උපයෝගි කරගනිමින් ලිංගික අනන්‍යතාව පවත්වාගෙන යැමට උපකාරී වන ක්‍රමෝපායන් ක්‍රියාත්මක වන බැවින් මෙවන් පුද්ගලයන් උදෙසා එය මහත් අස්‌වැසිල්ලක්‌ වනු නොඅනුමාන ය.

නපුංසක ලිංගික කාණ්‌ඩයට අයත් පුද්ගලයන් හට අපහාසාත්මක නම් යෙදීමත්, ඔවුන් හාස්‍යයට ලක්‌ කිරීමත් මඟින් මනාව පැහැදිලි වන්නේ මානසික රෝග හා මනස පිළිබඳව සමාජයේ බහුතරයක්‌ තුළ ඇති නොදැනුවත්භාවයයි. එය හුදෙක්‌ සමච්චලයට ලක්‌ කළ යුත්තක්‌ නො වන අතර ඔවුන් ගේ මානසික තත්ත්වය නඟා සිටුවීමෙහි ලා කටයුතු කිරීම සමාජ වගකීමකි. මෙකී පුද්ගලයන් ගෙන් කිසිවකු හට කිසිදු හිරිහැරයක්‌ හෝ පීඩාවක්‌ නො වන නමුත් එය සමාජයට ම බලපාන ගැටලුවක්‌ ඉස්‌මතු කරලීමට සමත් වන බව කිව යුතු ම ය. එනම් වර්ධනය වන නපුංසක ජනගහණයත් සමග සමාජගත වෙමින් පවතින සමලිංගික සේවනය හුදෙක්‌ සමාජයට හා සංස්‌කෘතියට පටහැනි බැවිනි. එබැවින් මෙවැනි තත්ත්වයන් සීමා කිරීම සඳහා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ පවතින යම් යම් අඩුපාඩු මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කිරීම මෙකී පුද්ගලයන් ඇතුළු සමස්‌ත ප්‍රජාවට ම කරන්නා වූ මහඟු සේවයකි.

අමා රූසිරි සිත්මල් සුබසිංහ
(මානසික සෞඛ්‍ය උපදේශිකා)

0 comments:

Post a Comment